Total Pageviews

Popular posts

 ජීවිතය කියන්නෙ මොකක්ද.. මේ ලොකෙ කොහොමද මැවිලා තියෙන්නේ.. සමහර ආගම්වල කියනවා වගේ දෙවියෙකු මවලාද එහෙම නැත්නම් පරිනාමවාදයට අනුවද එසේත් නැත්නම් ස්වාභාවධර්මයට අනුව ද. ඔව් මන් නම් හිතන්නේ මේ සියලු දේ  සිදුවන්නේ ස්වාභාවධර්මයට වුවමනා ලෙස කියලයි.

ගහ,කොල, සතා සීපාවො,මිනිස්සු ස්වාභාවධර්මයට අනුව ක්‍රමිකව පරිණාමය වෙලා ලෝකය බිහිවෙන්න ඇතියි කියලා අපි විශ්වාස කරනවා... 

එතකොට  අපි මේ ජීවත් වෙන  මිනිස්,තිරිසන් ලෝකවලට එහා ගිය දේව,ප්‍රේත එසේත් නැතිනම් පිටසක්වල ලෝක මේ විශ්වයේ තියනවාද? අපේ මරණයෙන් පස්සෙ අපි වෙන ලෝකවල ඉපදෙනවා හෝ නැවත ආත්මයක් හෝ අපිට තියනවාද..

අපි බොහොමයක් විශ්වාස කරන විදිහට මැරි මැරී ඉපදෙන අපි,අපිටවත් අයිති නැති අපි, අපිට පාලනය කළ නොහැකි අපි,එකිනෙකාට අනන්‍ය වෙච්ච ජිවිතේ සුන්දර සැපවත් යැයි කියාගන්නා මාවත් හොයාගෙන  නොනැවතී දුවන්නෙ ජීවිතේ මොන අරුතක් හොයාගෙන ද?...

මේවා මේ ලොකෙ ඕනෑම කෙනෙකුට තම ජිවිතයේ එකදු මොහොතක හෝ හදවතට නැගි ප්‍රශ්න වනු නොඅනුමානය. ඒවට පිළිතුරු සොයන්නන් එදත් අදත් ඉදිරියටත් සෑමදාටම සිටියි.. ඔවුන් ඒවාට එක් එක් අර්ථ දැක්වීම් ලබාදෙයි.  නමුත් ඒවා අපට පිළිගන්න පුලුවන් ද. ඒ ඔවුන්ගෙ හුදු  සිතුවිල්ලක් විතරයි. මේක ලියන මාත් එවැනි කෙනෙක්. ඔබේ නුවනැතිකමේත් ජිවිතාවබෝධයේත් තරම අනුව ඔබ ඒවා පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම කරයි. නමුත් මාත් ඔබත් හදවතින්ම පිළිගන්න එකම දර්ශනය වන්නේ බුදුදහම පමණයි. බුදුදහම ඇදහීමක් නොව දර්ශනයක් වන්නේ ද ඒ නිසාමයි. අමූලිකා ශ්‍රද්ධාවකින් නොව ආකාරවතී ශ්‍රද්ධාවකින් පිළිගත යුතුවන්නේ ද ඒ නිසාමයි. හේතු‍ඵල දහම අනුව තමාම අනුගමනය කර පිළිගන්න යන සර්ව සාධාරණ දැක්ම පදනම් වන්නේ ද  ඒ නිසාමයි...

ලොකේ අගක් මුලක් සෙවීම අපි ඉපදුනේ කොහොමද මැරෙන්නෙ කොහොමද මැරිලා ඉපදෙන්නෙ කොහේද.. මේවා විද්‍යාත්මකව හෝ ගුප්තව තර්ක කිරීම, සපථ කීරීමට උත්සාහ කිරීම නිමාවක් නැති නිශ්ඵල ක්‍රියාවක් ලෙස මට හැගෙනවා....

විය යුත්තේ ජීවිතේ විදීමයි.නමුත්  ජීවිතේ විදිනවා කියලා හිතාගෙන අපි භෞතික දේවල් පසු පස ම හඹා යන්නෙ ඒවායේ  අනිත්‍ය බව, නිශ්ඵල බව දැන දැනමයි. ඇයි අපි ජිවීතේ ලෝකෝත්තර සැනසුමක් සොයා පිය නොනගන්නේ... 

ඇත්තටම එසේ කළ හැකිද. අපේ මාපියන්,දූදරුවන්, රැකියා, වගකීම් යුතුකම් අමතක කරලා අපිට ඉන්න පුලුවන් ද. 

ගොඩාක් අය ජිවිතේ අනිත්‍ය බව නැතිනම් ලෝකෝත්තර සැනසීම කියලා හිතන්නේ ඒක.. තමන්ගෙ හැමදේම අතෑරලා ඒ හැමදේම කර්මයට අනුව වෙන්න ඉඩදීලා බලා ඉන්නවා කියන එක. ඒක ජිවීතේ අනිත්‍ය අවබෝධාකරගැනීමක් නෙවෙයි. තමන්ගෙ කම්මැලිකම වහගන්න පාවිච්ච කරන ඉතා සියුම් උපක්‍රමයක් පමණයි.

අපි කළ යුත්තේ මේ සියලු භෞතික දේවල්වල ඇති නැසෙනසුළු බව, නිශ්ඵල බව දැනගෙන කටයුතු කිරීමයි.. තම දූදරුවන්,රැකියාවන් මාපියන් සියලු දෑ නැතිවන බවත් අපිට අයිති නැති බවත් ඒ කිසිම දෙයක් සදාකල් නොපවතින බවත් ලෝකය නැතිවන දිනට ඒ සියල්ලත් නැතිවන බවත්  දැනගෙන සිටීමට අපට හැකිද අප මාපියන්,ආදරවන්තයන්, දරුවන් සියල්ලම මෙසේය.. මේ ආත්මයේ අපගේ වූ ඔවුන් ලබන ආත්මයක වෙනකුගේ විය හැකියි. ඔවුනටවත් පාලනය කළ නොහැකි ඔවුන් අපේ කියා සෑම දා අයිතිකරගෙන සිටිමට අපිට බැහැ. ස්වාභධර්මයට අනුව ඒ සියල්ල නැතිවී යයි. සිතන්න මේ ලෝකය විනාශ වූ දිනක අපි මේ අල්ලගෙන ඇද බැද තබාගෙන ඉන්න කිසිම කෙනෙක් අප ළග තියා ලොකයේ කොතැනකවත් නොසිටීවි.. එසේනම් ඇයි අපි අද සෑමදේටම තණ්හාවෙන් බැදෙමින් ඒවා අයිතිකරගනිමින්, අතහැරදැමීමට ලෝභකමින් තැවෙන්නේ.. තවත් පසකින් ඔබ කියාවි සෑමදේම අනිත්‍ය උනාට අපිට ඒවා අතාරින්න බැහැයි කියලා. ඔව් අපිට බැහැ. අපේ දෙමාපියන්ට,දූදරුවන්ට ඇති ආදරය බැදීම නැතිකරගන්න. සල්ලි,බලය,දැනුම රැස් නොකරගෙන යහපත් ජීවිතයක් ගත කරන්න. ඒ සියලු දේ කළ යුතුයි. එයට එකතු විය යුත්තේ අනිත්‍යාවබෝධය යන උතුම් ධර්මය පමණි. එවිට අපිට ඒවායේ උමතු බැදීමක්වත් අලස අතහැරදැමීමක්වත් සිහි නොවේවි..

ඉතින් මෙම සර්ව සාධාරණ ලෝක ස්භාවයට අනුගත වී සියලු දෑවල අනිත්‍ය බව නිසාරබව අවබෝධ කරගෙන අපිට ජීවත් විය හැකිද, සියල්ලන්ට යුතුකම් ඉටුකළ හැකිද,සැමට සාධාරණව සැලකිය හැකිද,අන්‍යන් ට කරනා දේ හේතුඵල දහම අනුව අප පිටුපසද හඹා එන බව සිහිතබා ගත හැකිද.. ඔව් එසේනම් අපි දැනටමත් සාර්ථකත්වයේ මග සොයා අවසන්‍ ය. කළ යුතු වන්නේ තවදුරටත් ඒ මාර්ගයේම නොනැවතී ගමන් කිරීමයි. අතීතයෙන් වෙර ගනිමින් වර්තමානයේ ජීවත් වෙමින් අනාගතයේ සසල බව අවබෝධ කරගනිමින් තම නිවරදි ඉලක්ක කරා නිහතමානීව පිය නැගීමයී..

No comments

ict note in A/L

3/Technology ict note in A/L/post-list